Thursday, August 7, 2008

අපේ අරමුණ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීම

ආචාර්ය්‍ය පාක්‍යසෝති සරවනමුත්තු,
විධායක අධ්‍යක්ෂ,
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය.

සාකච්ඡා කළේ තාරා ශ්‍රී රාම්

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔබගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ කරනු ලබන මැදිහත්වීම් මොනවාද?
තනිවමත් අනෙකුත් මානව හිමිකම් සංවිධාන එක්ක ඒකාබද්ධවත් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට යම් යම් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. පළමුවෙන්ම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධි සම්බන්ධව අපි වාර්තා සකස් කරලා පුවත් පත් නිවේදන නිකුත් කරනවා. ඊට අදාළ රාජ්‍ය ආයතනයන්ට දැනුම් දෙනවා. ඉන් එහාට එම උල්ලංඝනයන් සිදු වු ක්ෂේත්‍රයට ගිහින් නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා මානව හිමිකම් උල්ලංඝනය වන සහ අවතැන් අය රැඳී ඉන්නා ස්ථානවලට යනවා. විවිධ ප්‍රජා සංවිධාන සමඟ ඒ සම්බන්ධයෙන් කල යුතු දේ සාකච්ඡා කරනවා. එයින් ලබා ගන්නා තොරතුරු මේ රටේ මාධ්‍යවලට, දේශපාලඥයින්ට සහ ජාත්‍යන්තරයට ඉදිරිපත් කරනවා. ඊට අමතරව හැම අවුරුද්දකම හතර වතාවක් ජිනීවා වල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර සඳහා අපේ සංවිධානවල නියෝජිතයින් සහභාගි වෙනවා. එහිදී වෙනත් රටවල සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් එක්ක මේ රටේ උද්ගත වෙලා තියෙන මානව හිමිකම් ගැටලූ ගැන සාකච්ඡා කරනවා. ඒත් එක්කම මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති පියවරක් විදිහට නඩු පැවරීම සඳහන් කරන්න පුළුවන්. පසුගිය කාලයේ වැල්ලවත්තේ දෙමළ ජාතිකයින් ලොජ් වලින් ඉවත් කරපු එක සම්බන්ධයෙන් අපි නඩු පැවරුවා. පෞද්ගලිකව මමත් නඩු පැවරුවා. එතනදී අපේ වෑයම සාර්ථක වුනා. තවත් මානව හිමිකම් උල්ලංඝනයන් වලදී මැදිහත් වෙලා ඒ සම්බන්ධව නඩු පැවරීම දිගටම සිදු කරනවා.

ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ඇතුළු තවත් මානව හිමිකම් සංවිධාන එකතුවී කිසියම් ආකාරයක දැනුවත් කිරීමේ හා මැදිහත්වීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. කාලයක සිට කරගෙන ආපු එම ක්‍රියාවලිය දිහා නැවත වරක් බැලූවම එහි ශේෂ පත්‍රය ( Balance Sheet) ගැන මොකක්ද කියන්න පුළුවන්.
මම මේ ක්‍රියාවලිය බැලන්ස් ෂීට් එකක් විදිහට දකින්නේ නැහැ. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ඇතුළේ මාසෙන් මාසෙට බැලන්ස් ෂීට් එක බලන්න බැහැ. නමුත් අපි නිතරම උත්සාහ කරලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමෙන් සහ දේශීය මට්ටමෙන් මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව පියවර ගන්න. මෙතනදී ආණ්ඩුව මතයි සියලූ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරලා දෙන ප්‍රධාන වගකීම තියෙන්නේ. මං දකින විදිහට ආණ්ඩුව ගන්න සමහර පියවරයන් අවංක නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පරීක්ෂණ කටයුතු හරියට කෙරුණේ නැහැ. එහි මුල් අවධියේම අපි එහි පසුබිම දැකලා කිව්වා මේක අවංකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. මුලදී මානව හිමිකම් අමාත්‍යාංශයේ උපදේශන සභාව කමිටුව එක්ක සම්බන්ධ වුණත් පසුව ඔවුන්ට ඉන් ඉල්ලා අස් වෙන්න සිදු වුණා. රජය අවංකව කටයුතු නොකළ බවට මේක උදාහරණයක්. දැන් ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ මැතිවරණයෙන් පරාජය වෙලා. පැරදෙන්න හේතු නිර්මාණය කරගෙන තියෙන්නෙත් රජයයි. සිවිල් සමාජයත් මේ සියල්ල සිදුවෙන දිහා නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා.මෙතනදී තියෙන ලොකුම ගැටලූව ආණ්ඩුව මේ ප්‍රශ්ණය විසඳන්න අවංකව, උනන්දුවෙන්, කැපවීමෙන් කටයුතු නොකිරීම. ඔවුන්ට එවැනි උවමනාවක් නැහැ. දවසින් දවස මානව හිමිකම් සුරක්ෂිත වීම වෙනුවට සිදු වෙන්නේ කඩවීම. පසුගිය දවසක මර්වින් ඇමතිතුමා ආයෙත් වතාවක් මාධ්‍යවේදියෙකුගේ කැමරාව උදුරාගෙන ඔහුට පහර දුන්නා. මේක ලොකු විහිලූවක්. පසුගිය කාලයේ මාධ්‍යවේදීන්ට පහරදීම් සහ තර්ජනය කිරීම් එක දිගට සිදුවුණ වෙලාවේ මහා ඝෝෂාවක් කරලා කමිටුවක් පිහිටෙව්වා. එතනදී කමිටුවේ ඇමතිවරුන් කීප දෙනෙක් මාධ්‍යවේදීන්ට මානව හිමිකම් කඩවීම සම්බන්ධව දැනුම් දෙන්න කියලා දීපු දුරකථන අංක වලට කතා කරන කොට කවුරුවත් ඒවාට පිළිතුරු දෙන්නේ නැහැ කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ මැතිවරණයේ සාමාජිකත්වයෙන් අපි පැරදිලා දවසක්වත් ගත වුනේ නැහැ ‘ද නේෂන් ’ පත්‍රයේ කීත් නොයාර් පැහැරගෙන ගිහින් ගැහුවා. ඊට සතියකට පස්සේ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ පෝද්දල ජයන්තටයි, සනත් බාලසූරියටයි එන්න කියලා ආරක්ෂක ලේකම් බැන්නා. ඊට පස්සේ නාමල් පෙරේරටයි, මහින්ද රත්නවීරටයි ගැහුවා. මානව හිමිකම් ගැන කතා කරන ජාත්‍යන්තර ප්‍රජාව හෝ ක්ෂේත්‍රයේ ජේය්‍යෂ්ඨයෝ කියන කිසිදෙයක් රජය පිළිනොගෙන ප්‍රතික්ෂේප කිරීම ලොකු අර්බුදයක්.

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මානව හිමිකම් කොමිසම වැනි ආයතන බොහොමයක් අපේ රටට ලැබුණේ ජාත්‍යන්තර මැදිහත්වීමෙන්. ඒවායේ ස්වාධීනත්වය බිඳ වැටී රටේ මානව හිමිකම් කඩවෙනකොට මෙරට ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන ඒ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට නිතර දැනුම් දීම කරනවා. එහිදී ජාත්‍යන්තර ප්‍රජාව පෙරලා රජය වෙත දක්වන යම් යම් බලපෑම් පිළිබඳ රජයේ කිසිම තැකීමක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් GSP+ අපට අහිමි වීම, ලංකාවේ මානව හිමිකම් කොමිසම B ශ්‍රේණියට වැටීම රජයට ගැටලූවක් නෙවෙයි. ඔවුන් අනුගමනය කරන්නේ Don't care ප්‍රතිපත්තියක්. සිවිල් සමාජයටත් තමන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට වුවමනාවක් නැති බවයි දකින්න ලැබෙන්නේ.
ඒකට හේතු කීපයක් තියෙනවා. මානව හිමිකම් ආරක්ෂා කර ගන්න ඕන කියන සංස්කෘතියක් අපේ රටේ ඉතිහාසයේත් තිබුනා. නමුත් අද තත්ත්වය දිහා බැලූවොත් පළමුවෙන්ම මාධ්‍ය මේ සම්බන්ධයෙන් ලියන එක, කතා කරන එක අඩු කරලා. එතනදී ඔවුන්ට හෙළිදරව් කිරීම් තුළ ජිවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලූවක් තියෙනවා. අද මානව හිමිකම් උල්ලංඝනයන්වීම සිදු වෙන්නේ 71, 88-89 භීෂණ සමයේදී වගේ නෙවෙයි. ජනවාර්ගික ගැටලූව ඇතුළේ. මේ තත්ත්වය තුළ අද වැඩිපුරම මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ ද්‍රවිඩ ජනතාවගේ. ආණ්ඩුවත් බලය පාවිච්චි කරලා මාධ්‍ය මඟින් තමන්ට පක්ෂපාතී, වාසි සහගත ආකාරයේ ප්‍රවෘත්ති නිකුත් කරනවා. අද වැල්ලවත්තේ ජීවත් වෙන සිංහල මනුෂ්‍යයෙකුටයි, දෙමළ මනුෂ්‍යයෙකුටයි අත් විඳින්න වෙන්නේ දෙවිදියක අත්දැකීම්. උදේ පාන්දර ගෙවල් වලට, ලොජ් වලට ගිහිං දෙමළ මිනිස්සුන්ව පරීක්ෂා කරනවා. ඔවුන්ගේ වීඩියෝ දර්ශන රූපගත කරනවා. රජයට තමන්ගේ බලය පාවිච්චි කිරීමේ සීමාව ගැන වැටහීමක් නැහැ.

රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට එකතු වෙලා පවත්වා ගෙනයන ක්‍රියාවලියේ සමස්ත උපාය මාර්ගය කුමක්ද?
ඒ සඳහා යෝජනා කීපයක් තියෙනවා. පළමුවෙනි එක 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඕන. එමඟින් අදාළ ස්වාධීන කොමිසම් පත්කරන්න ඕන. මම කියන්නේ නැහැ ඒමඟින් අපිට ඉතාම සාර්ථක තත්ත්වයක් කරා ගමන් කරන්න පුළුවන් කියලා. නමුත් තරමක් දුරට හෝ එමඟින් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩක් තියෙනවා. දෙවෙනි කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන්න ඕන කියන එක. ඒ තුළින් ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂකයින්ට මේ රටට ඇවිත් ලංකාවේ මානව හිමිකම් කොමිසම එක්ක වැඩ කරන්න ඉඩ ලැබෙනවා. එතකොට මානව හිමිකම් කඩවු ක්ෂේත්‍රයන්ට ගිහින් ස්වාධීන නිරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ලබා ගන්න අපට අවස්ථාව ලැබෙනවා. ලංකාවේ පවතින තත්ත්වය සතුටුදායක මට්ටමකට ආ පසුව ඔවුන්ට නැවත මෙහෙන් පිට වෙලා යන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අවම වශයෙන් 17 වන සංශෝධනය හෝ ක්‍රියාත්මක නොවීම තුළ මිනිස්සු සාක්ෂි දෙන්න බයයි. පැමිණිලි ඉදිරිපත් කරන්න බයයි. ඔවුන්ව සමාජය ඉදිරියට ගේන්න නම් ඔවුන්ට අවශ්‍ය රැකවරණය රජය සලසලා තියෙන්න ඕන. එහෙම නැතුව මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න අපහසුයි.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කඩවෙන කොට ඒ පිළිබඳ තොරතුරු රැස් කරලා මේ සිදුවීම් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට එකඟ නැහැ කියලා ප්‍රකාශ නිකුත් කරනවා. ඒ මඟින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම මේ සම්බන්ධයෙන් සිදුවේවි කියලා. එහෙමත් නැත්නම් ලංකාව තුළම සිවිල් සමාජයෙන් බලපෑමක් රජය වෙත එල්ල වෙයි කියලා. ඒ වෙනුවෙන් මේ සංවිධාන කුමන උපාය මාර්ගයක් යොදා ගත්තත් රජය මඟින් මානව හිමිකම් ආරක්ෂා කරවා ගැනීමේ පසුබිමක් උදාකර ගන්න තවම නොහැකි වෙලා තියෙනවා. එතනදී මෙම සංවිධාන අනුගමනය කළ උපාය මාර්ග අසාර්ථකයි කියලා කිව්වොත්....
ඔව්. මේ දැන් ඉහළ සිට බලල පේන දේ ඡයාරූපයකට නගල කියනවා නම් කියන්න පුළුවන් අපි ෆේල් කියලා. ඒ කියන්නේ ආණ්ඩුව අවශ්‍ය පියවර අරගෙන නැහැ මේ වනතෙක්. එයාලා තමන්ගේ මතය වෙනස් කරලත් නැහැ. නමුත් මගේ උත්තරය නම් අපේ උත්සාහය දිගටම කරගෙන යනවා කියන එක. එක උදාහරණයක් කියන්නම්. තව මාස දෙක තුනකින් අපිට GSP+ ලැබෙන එක නතර වෙන්න නියමිතයි. ආණ්ඩුවට තවමත් පුළුවන් උත්සාහ කළොත් අපිට නැවත GSP+ ලබා ගන්න. නමුත් ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන මේ ගැන ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් යම් හෙළිදරවු කිරීම් කරලා සාකච්ඡා පැවැත්වීම. නමුත් මේ වගකීම තියෙන්නේ රජයට. අපේ අරමුණ ආණ්ඩුව පරාජය කිරීම හෝ ඔවුන්ට නරක ප්‍රතිරූපයක් ආරූඪ කිරීම නෙවෙයි. අපේ අරමුණ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සුරක්ෂිත කිරීම.

නමුත් මේ රටේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන කරන යම් යම් හෙළිදරව් කිරීම්, මැදිහත්වීම් සම්බන්ධයෙන් සිවිල් සමාජය තුළින් වඩා තාර්කික (rational) තීරණයක් බිහිවෙලා නැහැ. ඒ ඔස්සේ බලපෑම් කණ්ඩායම් ඇතිවෙලා සමාජයට බලවේග මුදාහරින්න ජනමතයක් ඇතිවෙලත් නැහැ. අවම වශයෙන් සිංහල ජනතාව තුළවත්.....
වර්තමානයේ මිනිස්සුන්ට මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති නොවෙන්න ප්‍රධානම හේතුව, උද්ගත වෙලා තියෙන ජනවාර්ගික ප්‍රශ්නය. ත්‍රස්තවාදය පරාජය කිරීමේදී සමහර විට මානව හිමිකම් උල්ලංඝනය විය හැකියි කියලා සමාජයේ යම් කොටසකගේ අදහසක් තියෙනවා. යුද්ධය හරියට කරනවා නම් මානව හිමිකම් උල්ලංඝනයවීම ගැන කතා කරන එක එතරම් වැදගත් නොවන බවට තවත් මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පුර්ව අත්දැකීම් නැති සමහර පිරිස් මානව හිමිකම් කඩවීම ගැන දැනුවත්භාවය නැති නිසාම එවැනි ගැටලූවක් සමාජයේ පවතින බව නොදැන මෙතන ගැටලූවක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. අනෙක් වැදගත්ම කාරණය බහුතරයක් සිංහල ජනතාව ජීවත් වෙන රටේ ඒ ජනතාව ආමන්ත්‍රණය කරන සිංහල මාධ්‍ය මේවා ගැන වාර්තා නොකිරීම. ජනාධිපති පරීක්ෂණ කොමිසම, අද්විතීයයන්ගේ කණ්ඩායම නොයෙකුත් ගැටලූ මධ්‍යයේ තමන්ගේ ස්වාධීනතාවය රැකගෙන කටයුතු කරන්න උත්සාහ කලා. නමුත් විශේෂයෙන්ම කොමිසමේ විනිශ්චය මණ්ඩලය ඒ අවස්ථාවල කටයුතු කරපු ආකාරය මේ රටේ පත්තර සිංහල භාෂාවෙන් වාර්තා කළේ නැහැ. නමුත් මෑතකදී විනිසුරු මඩුල්ලේ නේසයියා මහත්මයා ඉන් ඉවත් වෙන කොට තමයි සිංහල මාධ්‍යවලට මතක් වුනේ මේ පිළිබඳ වාර්තා කරන්න. නමුත් එතනදී ඊට පෙර වූ සිදුවීම් මාලාව ගැන දැනුවත්කමක් නැති ජනතාව හිතන්න පටන් ගත්තා නේසයියා මහතා රාජ්‍ය නොවන සංවිධානයක් හරහා පත්වෙලා එතැනට ගියේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට කියලා. සිංහල මාධ්‍යය මේ තත්ත්වය වාර්ථා කිරීමේ සිට ඉදිරියට මිනිස්සු හිතන දේ නෙවෙයි සැබෑ යථාර්ථය කියලා අපි කොහොමද මිනිස්සුන්ට ඔප්පු කරලා පෙන්වන්නේ. ඊට පෙර සිදු වූ ක්‍රියාවලිය කුමක්ද කියලා ඔවුන් දන්නේ නැහැ. සිංහල මාධ්‍යය ඒවා වාර්තා කලේ නැහැ. මාධ්‍යයෙන් අපි බලාපොරොත්තු වන සහාය ලැබෙන්නේ නැත්නම් අපිට සිදුවෙන්නේ ජනතාව අතරට ගිහින් මේ ගැන ඔවුන් දැනුවත් කරන්න. නමුත් එහෙම කටයුතු කරන්නත් වැඩිදෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. බහුතර දෙමළ ජනතාව අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය අනුව කතා කරන්න බයයි. කතා කරන සිංහල ජනතාව කවුරුන් හෝ සිටිනවා නම් ඔවුන්ටත් සිංහල කොටි කියන චෝදනාව එල්ල වෙනවා.

ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන රාජ්‍ය නොවන සංවිධාන නිරන්තරයෙන් ජාත්‍යන්තරය දැනුවත් කරනවා. එහිදී ජාත්‍යන්තර ප්‍රජාව ලංකා රජයට යම්කිසි පීඩනාත්මක බලයක් යොදනවා GSP+ කපා හැරීම, මානව හිමිකම් කොමිසම B ශ්‍රේණිගත කිරීම ආදී තීරණ ඔස්සේ. නමුත් රජය ඔවුන්ගේ තීරණ මායිම් නොකරන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය උඩ ජාත්‍යන්තරයට යම් යම් වාර්තා නිකුත් කරලා මේ රටේ මානව හිමිකම් කඩවෙන බවට පැමිණිලි ඉදිරිපත් කළ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ වෑයම හරසුන් දෙයක් බවට පත්වෙලා.......
ආණ්ඩුව දන්නවා චීනය, රුසියාව, ඉරානය, වගේ රටවල් මුදල් දෙන්න සහ තවත් අධාර ලබා දෙන්න තමන්ගේ සහයෝගයට ඉන්නවා කියලා. චීනය, ඉරානය, රුසියාව කියන්නේ ජාත්‍යන්තරයේ රටවල් කිහිපයක් විතරයි. විශේෂයෙන්ම මානව හිමිකම් සම්බන්ධව ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බටහිර රටවල් රජයේ වැඩපිළිවෙල පිළිගන්නේ නැහැ. එතනදී රජයට අනිවාර්යෙන්ම බලපෑමක් සිදු වෙනවා. අනෙක මේ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනයන් බොරුවක් නෙවෙයි. හැමෝටම හොඳින් පෙනෙන්න තියෙන සත්‍යයක්. එතනදී සමහර රාජ්‍ය නොවන සංවිධාන මේ තත්ත්වය යටතේ ඉදිරියට කටයුතු කරන්න පැකිලෙන්න පුළුවන්. නමුත් එතකොට සිද්ධ වෙන්නේ සිවිල් සමාජය තවත් අර්බුදයක් කරා ගමන් කිරීමයි.

ඉදිරියේදී සංවිධානාත්මක ලෙස මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන නිශ්චිත සැලසුම කුමක්ද?
නිශ්චිතවම 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම බලපෑම් කරනවා. ඒ සම්බන්ධයෙන් නඩු පවරනවා. අපේ ආයතනයෙන් දැනට නඩු දෙකක් පවරලා තියෙනවා. ඊට අමතරව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජනාතාව දැනුවත් කිරීම කරලා මේ රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව නඩු පැවරීම සිදු කරනවා.

නැවත මුල් පිටුවට ක්ලික් කරන්න

No comments: